Hastha rekha | අත්ලේ රේඛා


01. අත්ලේ රේඛා

02. දන රේඛාව

03. විවාහ රේඛාව

04. විදේශ ගමන් රේඛාව

05. ජීවන රේඛාව

06. රවි රේඛාව

07. ශීර්ශ රේඛාව

08. රවි රේඛාව


සමුද්‍ර සෘෂිවරයා විසින් ලොවට හඳුන්වා දුන් සාමුද්‍රික ශාස්‌ත්‍රය හෙවත් හස්‌ත රේඛා විද්‍යාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වන විට ලොව පුරාම පිළිගැනීමට ලක්‌ව ඇත. අත්ලක්‌ පරීක්‍ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අතත් ස්‌ත්‍රියකගේ නම් වම් අතත් පරීක්‍ෂා කළ යුතු බව බොහෝ දෙනකුගේ මතයයි. හස්‌ත සංජීවනී නම් භාරතීය ග්‍රන්ථයේද මේ මතයම සඳහන් වෙයි. කෙසේ වුවද බොහෝ දෙනකුගේ අදහස වන්නේ ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව වම හා දකුණු අත දෙකම පරීක්‍ෂා කිරීම වැදගත් බවයි.


අතක්‌ පරීක්‍ෂා කිරීමේදී පළමුවෙන්ම අපේ දෙනෙත් යොමු වන්නේ අත්ලටයි. අත්ලේ හැඩරුව වර්ණය හා විශේෂ සලකුණු අනුව අත් හිමියාගේ පලාඵල පැරණි සාමුද්‍රික විද්‍යා පොත්වල පැහැදිලිව දක්‌වා ඇත. එම ග්‍රන්ථවල සඳහන් පරිදි දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන පුරුෂයන්ට හතරැස්‌ හැඩයකින් යුත් අත්ලක්‌ පිහිටයි. එවුන් සිතන්නේත්, කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝ විට මෙවැනි පිහිටීම් තිබිය හැකිය.


පැහැපත් සමකින් හා මෘදු මාංශ පේෂීන්ගෙන් සැදුන අත් හිමියා කලාකාමියෙකි. විසිතුරු දේ අගය කිරීම ඔවුන්ගේ ජීවන චරිතයේ ලක්‍ෂණයක්‌ වෙයි.


කෝණාකාර හැඩයක්‌ ගන්නා අත්ලෙන් බුද්ධිමත් පුද්ගලයෙකු හඳුනාගත හැකිය. බුද්ධි හීන පුද්ගලයාගේ සම ගොරෝසු බවක්‌ පෙන්වයි. රේඛා දෙක තුනක්‌ පමණක්‌ පිහිටීමත් ශීර්ෂ රේඛාව කෙටි වීමක්‌ද එවැනි අත්ලක දැකිය හැකි වේ. සියුම් වැඩට දක්‌ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් පුද්ගලයා වාසනාවන්තය. දැඩි ආත්ම ශක්‌තියෙන් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවත් අතගසන එවැනි අය එය නිම කිරීමෙන් ඉමහත් තෘප්තියක්‌ ලබයි. දක්‍ෂ පාලකයන්ටද බොහෝ විට එවැනි අත්ල තල පිහිටයි. හැමවිටම දහඩිය දමන සුලු අල්ල ඇති අයද අප අතර සිටිති. රක්‌තපාතය, ස්‌නායු දුර්වලත්වය වැනි අසනීප එවැනි අයට තිබිය හැක.


ලා රෝස පාට අත් වඩාත් සුබ පල දෙන පිහිටීමකි. අල්ල කළුපාට හෝ දුඹුරු පැහැ ගැන්වීම අසූබය. දුක්‌බර ජීවිතයක්‌ එමගින් පෙන්නුම් කරයි. මොලොක්‌ ගතියෙන් යුත් මදක්‌ රතු පැහැති පැහැදිලි අත්ලක්‌ පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. ළඳ බොළඳ සිතිවිලි හා ආචාරශීලී හැසිරීම් විලාසයක්‌ ඇති අය සැබවින්ම කාරුණිකය. පැරැණි දේහ ලක්‍ෂණ විද්‍යා පොත්වල සඳහන් පරිදි රතු පැහැති හෝ තඹ පැහැති දුඹුරු රේඛා ස්‌ත්‍රීන්ගේ අත්වල පිහිටා තිබීමද ඉතාමත් සුබය. ජීවිතයේ උපරිම වින්දනය, තෘප්තිය, වින්දනය කිරීමේ වාසනාව හිමි එවැනි අය යහපත් චරිත ඇත්තියෝද වෙති. අත්ල තද කහපාටින් යුක්‌ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක්‌ ඇත්තා වූද එමෙන්ම කාමුක අශෝභන සිතිවිලිවලින් යුක්‌ත වූ අයෙක්‌ද වේ. අන්‍යයන්ගේ දියුණුව නුරුස්‌සන මොවුන් දියුණු වීමට කොතෙක්‌ උත්සාහ කළත් පලක්‌ නොවේ. අන් අයගෙන් ඈත්වී හුදෙකලාව ප්‍රිය කරන කොටසක්‌ද අප සමාජයේ දැකිය හැකිය. හැම විටම මොවුන් නිහඬ කල්පනා ලෝකවල සැරිසරන්නෝ වෙති. දැඩි අලසකම නිසාවෙන්ම ඔවුන් ධන හීනයන් වන්නට ඇති ඉඩකඩ වැඩිය. මෙවැනි ගති ලක්‍ෂණ ඇති අයගේ අත්ල සුදු පැහැයක්‌ ගනී. වෙනත් අයුරකින් සඳහන් කිරීමේදී මෙම අත්ල සුදුමැලි ස්‌වභාවයකින් යුක්‌තය.


අත්ල කළු පැහැයෙන් යුක්‌ත අයෙක්‌ නම් හේ ආත්මාර්ථකාමී අයෙක්‌ විය යුතුය. නිතර මුසා බස්‌වලින් කලදවස ගෙවන හෙතෙම තම හැකියාවන් සියල්ලම අයහපතට යොදන්නෙකුද වෙයි. අත්ල රක්‌ත වර්ණයෙන් යුක්‌ත වී නම් වස්‌තු සම්පත් නොඅඩුව ලැබෙන්නෙක්‌ වන අතර අත්ල නිල්වන් පැහැයෙන් යුක්‌ත වූයේ නම් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්‌තුවද විනාශ කර ගත්තෙකු වෙයි.


මසින් පිරි සමතලා ලෙස පිහිටි අත්ල හිමි අය ත්‍යාගශීලී අයෙකු බව පෙන්නුම් කරයි. අත්ල තුනීවීමද සුබ නොවේ. එවන් අත්ලක්‌ පිහිටීමෙන් දෙමාපියන්ගෙන් ලැබෙන උරුමයක්‌ අහිමි වන අතර අල්ල නොගැඹුරු වටකුරුව ඇත්තේ නම් එම උරුමය හිමි අයෙකු වේ. පිළිවෙළකට නොමැති අත්ල හිමි අයගේ ජීවිතය අවාසනාවන්තය.


දූපතක සලකුණක්‌ අත්ලේ රේඛාවක්‌ මත හෝ ග්‍රහ මණ්‌ඩලයක්‌ මත සලකුණු වී ඇත්නම් අසුබය. ජීවන රේඛාව මත මෙම දූපත් සලකුණු පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතැනක හෝ ඇතිවන ආබාධයක්‌ පෙන්නුම් කරයි. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ පිහිටියේ නම් ශීර්ෂාබාධයක්‌ හෝ මානසික පීඩාද, හෘදය රේඛාවේ නම් හෘදය, පෙණහලු�ආශ්‍රිත ආබාධද ප්‍රකට කෙරේ. කෙසේ වුවද දූපත් සලකුණ අත්ලේ කොතනැක පිහිටියත් සුබදායක පිහිටීමක්‌ නොවේ. කොඩි සලකුණු, ත්‍රිශූල සලකුණු වඩාත්ම සුබදායක වේ.


නෙලුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුන, නොකැපුන රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කරන්නෙකි. රේඛා කාල වර්ණවීම, ප්‍රධාන රේඛා මැකී යැම අවාසනාවන්තය. එමගින් හෙළි කරන්නේ දිළිඳු බවයි.


ස්‌ත්‍රියකගේ අත්ලක මත්ස්‍ය (මාලුවා) සලකුණු මණ්‌ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටිය හැක. රේඛා බණ්‌ඩි ගැසීමෙන් බොහෝ විට මෙම ලකුණු පිහිටීමට ඉඩ ඇත. මත්ස්‍ය ලකුණු ඉතාමත් සුබ පල දෙන ලකුණක්‌ වේ. අනේක විධ භව භෝග සම්පත් ලැබීමට හේතුවන්නකි. කාන්තාවකගේ අතක මාළුවෙකුගේ ලකුණ පිහිටා තිබේ නම් ඇයට ලක්‍ෂ්මී යෝගය උදාවන බව ශාස්‌ත්‍රීය නියමයයි. වාසනාවන්ත පුරුෂයෙක්‌ ලබන ඇය සුපින්වත් දූ පුතුන්ද ලබන ශ්‍රේෂ්ඨ මාතාවක්‌ වන්නීය. යම් ස්‌ත්‍රියකගේ අත්ල කොටද, මනා හැඩහුරුකමින් යුක්‌තද, රතුපාටින් දිලිසෙයිද, කැපීගිය රේඛා නොමැති රේඛාවන් කීපයකින් පමණක්‌ යුක්‌තද, එම රේඛාවන් පැහැදිලිව අල්ලේ මැද දෙසට ඒවා විහිද පවතී නම් එම කාන්තාව ඒකාන්තයෙන්ම ගෞරව ලබන උතුම් වූ කාන්තාවක්‌ වන්නීය. ඇය ධනයෙන් හා වාසනාවෙන්ද යුක්‌ත බව සාමුද්‍රික විද්‍යාවේ පෙන්නුම් කර ඇත.

/br>

ඔබට සහකරුවකු හෝ සහකාරියක ලැබේද? නොලැබේද? ලැබුණත් යහපත් පවුල් ජීවිතයක් ගත කළ හැකිද? අතරමඟදි පවුල් ජීවිතය කඩා වැටේද? නැතහොත් වෙනත් මොනයම් හෝ කාරණයක් සිදුවේද යන වග තමාගේ අත්ලෙහි පවතින්නාවූ රේඛාවන් සලකුණු ආදියෙන් තීරණය කරගත හැකිවේ. සුළැඟිල්ලට යටින් පිහිටා ඇති විවාහ රේඛාව සුළැඟිල්ලට වඩාත් කිට්ටුව පිහිටා තිබේද එම තැනැත්තා තම සහකාරිය තෝරා ගනු ලබන්නේ ආදරයට වඩා දේපළ ධනය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එනම් සහකාරිය තමාට නොගැළපෙන අයකු වුවත් දැවෑද්ද බලාගෙන විවාහයට පත්වේ. විවාහ රේඛාවන් කිහිපයක් පිහිටා තිබිම කිහිප දෙනකුට ආලය කරන ලකුණකි. යම්කිසි ස්ත්‍රියකගේ එක් විවාහ රේඛාවක් පමණක් පිහිටියේද එම තැනැත්තිය එක් පුරුෂයකු සමඟ පමණක් විවාහයට එළඹේ.


විවාහය ගැන විමසා බැලීමේදී සිකුරුගේ පර්වතය ගැන අවබෝධයක් තිබීම ද වැදගත් වේ. අත්ලෙහි මහපට ඇඟිල්ල යට පිතෘ රේඛාවෙන් වටව පවතින්නා වූ කොටස සිකුරුට අයත් වේ. යම් කිසි පුද්ගලයකුගේ අත්ලෙහි සිකුරුගේ මණ්ඩලයෙන් රේඛාවක් සෙනසුරුගේ මණ්ඩලයෙන් රේඛාවක් සෙනසුරුගේ මණ්ඩලය වෙත පැමිණ එම රේඛාවේ අවසානය අතුවලට බෙදී පවතීද එම පුද්ගලයාගේ විවාහය අවාසනාවන්තය.


සිකුරුගේ මණ්ඩලයෙහි දූපතක සටහනක් යෙදී ඉන් නැඟුණු රේඛාවක් රවි මණ්ඩලය වෙතට යයිද එම තැනැත්තාගේ විවාහ ජීවිතය ඉතා වාසනාවන්ත වනු ඇත. සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වන්නා වූ රේඛාව පීතෘ රේඛාවත් මාතෘ රේඛාවත් කපාගෙන බුධ මණ්ඩලයට යයිද එම ස්ත්‍රිය ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයකු සමඟ විවාහයට පත්වනු ඇත.


සිකුරු මණ්ඩලයෙන් පටන් ගන්නා රේඛාව සෙනසුරුගේ පර්වතය වෙත පැමිණ යකඩ වැස්සක් බඳු සටහනකින් අවසන් වීම හෝ සම්බන්ධ ව පැවතීම ද එම පුද්ගලයාගේ විවාහ ජීවිතය අවාසනාවන්ත වන බවට ලකුණකි. සුලැඟිල්ල යට පිහිටි විවාහ රේඛාව නැමී හෘද රේඛාව හා සම්බන්ධ වේද එම තැනැත්තා ස්ත්‍රීන් සමඟ ආදර සම්බන්ධතාවල නිරත වූවෙකි. විවාහ රේඛාව මත අග කරු සටහනක් පවතීද එම තැනැත්තාගේ විවාහ ජීවිතය වැඩි කාලයක් ගත වීමට මත්තෙන් කැඩී යයි. විවාහ රේඛාව යටින් විවාහ රේඛාවට විරුද්ධ අතට කෙටි රේඛා දෙකක් පවතීද එම තැනැත්තා හට ලැබෙන්නා වූ සහකාරිය යම්කිසි රෝගයකින් පෙළෙන අයකු වේ. විවාහ රේඛාව මත කතිර සටහනක් පවතී නම් දරුවන් පිළිසිද ගැනීමේ ප්‍රශ්නයකට මැදිවේ.


විවාහ රේඛාව සුලඟිල්ල දෙසට උස්ව පිහිටියේද තමා හට ලැබෙන්නා වූ අය තමාට වඩා ‍උසස් අයකු වේ. තමාට වඩා තත්ත්වයෙන් පහළ අයකු ලැබෙනුයේ විවාහ රේඛාව පහතට වක්‍රව පිහිටා තිබීමෙන්ය. විවාහය නිසා තමන්ගේ රැකියාව නවතා දැමීමට සිදු වූ අයද අනන්තවත් සිටිති. එම අයගේ අත්ල පරීක්ෂා කර බැලීමේදී විවාහ රේඛාවේ අග තවත් රේඛාවකින් කැපී පවතින ආකාරය දැක ගත හැකිවේ. කොතරම් විවාහ යෝජනා ලැබුණත් අවිවාහකව සිටින අයද සමාජයේ සිටී. එවැනි අයගේ අත්ලෙහි විවාහ රේඛාව මත දූපත් සලකුණු දෙකක් පවතිනු දැක ගත හැකිවේ. විවාහ රේඛාවේ මුල දූපතක් පැවතීම ද විවාහය ප්‍රමාද වීමට හේතුවකි.